Tuesday, August 13, 2013

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවියෙක් වන් මිනිසෙකු දුටිමි......!

ඉතින් යාලුවනේ, ඔන්න මාස ගණනාවකට පස්සෙ ආයෙමත් බ්ලොග් එක මතක් වුනා. පහුගිය ටිකේ තිබුන Exams සහ ‍රැකියාවේ කාර්යබහුල කම නිසාම මාස ගණනාවකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. දැන් ආයෙමත් වැඩ ටිකක් අඩු නිසා ලියන්න පටන් ගන්න හිතුණා. මේ පාර නම් කොහොමටත් දිගටම ලියනවා, මාසයකට පෝස්‍ටුවක් දෙකක් වත් වෙන්න. ඇත්තටම මේ සැරේ මම ලියන්නෙ මිනිස් ජීවිත පවා තුට්‍ටුවකට මායිම් නොකරන මිනිසුන් වෙසෙන රටක මට හමුවුනු සුන්දර මනුස්සයෙක් ගැන.
 
දිනය 2013.08.09 වන සිකුරාදාය, වේලාව උදැසන 8.00 පමන ඇත. ස්ථානය සුන්දර නුවර එලිය පුරවරයේ බ්ලැක්පූල් සිට වැලිමඩ පාර දක්වා දිවෙන මාගස්තොට මාර්ගයයි. හාත්පස මීදුම ගලා තිබූ ඒ සුන්දර උදෑසන සිහින් වැහි පොදක්ද වැටෙමින් තිබිනි. මා මගේ මිතුරෙකුද සමග ඔහුට අයත් මෝටර් රථයෙන්  මිතුරියකගේ විවාහ මංගලෝත්සවයක් සදහා සහභාගී වීමට නුවර එලිය බලා ගමන් කරමින් සිටියෙමි.
 
අප ගමන් මගේ  ඉදිරියෙන් අප දෙසට පැමිණි කුඩා ලොරි රථයක් සෙමින් වේගය අඩු කර පසෙකට කර නවත්වනවා මම දුටිමි. ඉන් පසු එයින් බැස ආ තරුණයෙකු පුලුන් ගුලි දෙකක් මෙන් මහපාරේ මැද ඔබ මොබ ඇවිදිමින් සිටි කුඩා බලු පැටවුන් දෙදෙනෙකු පාරෙන් ඉවත් කිරීමට වෙහෙසෙන අයුරු දුටිමි. මේ වන විට මා මිතුරාද ඔහුට සහයක් ලෙස මෝටර් රථය පසෙකට කර නවතා ඔහුට ඉඩ දී මේ සිදුවීම නිරීක්ෂණය කරන බව මා දුටිමි. කෙතරම් පාරෙන් ඉවත් කර තැබූවත් එම පැටවුන් දෙදෙනා නැවත නැවතත් පාරටම ඇදී ආ නිසා මෙතෙක් වේලාවක් උදෑසන සීතලට නිරාවරනය වෙමින් වැස්සට තෙමෙමින් මේ සත් කාර්යයේ යෙදුනු නාදුනන තරුණයා කුඩා පැටවුන් දෙදෙනා ඔසවා ගෙන ගොස් ප්‍රධාන පාරට ලගා වීම අපහසු වන තරමේ දුරකින් බලු පැටවුන් දෙදෙනා තබා සිය රථයට ගොඩවී පිටත්ව ගියේය.
 
මෙය කියවන ඔබ මෙවන් සිදුවීම් ඕනෑවටත් වඩා දැක තිබෙන්නට හැක. ඔහු සිදු කල දේ කුඩා දෙයක් වන්නටද හැක. නමුත් මිනිස් වෙස් ගත් මග මරුවන් හිත් පිත් නැති ලෙසින් මිනිස් ජීවිත බිලිගන්නා ලොවක බලු පැටවකුගේ වුව ජීවිතයක වටිනාකම දන්නා ඔහු සැබෑ මනුෂ්‍යයකු ලෙස මම දුටිමි. මාස 5-6 බිලිදියන් පවා දූෂනය කරන තිරිසන් සමාජයක තිරිසනකුට පවා දයාව සෙනෙහස දැක්වූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ දේශණා කල මෛත්‍රීය ප්‍රායෝගිකව ප්‍රගුණ කල උත්තම පුරුෂයෙකු ලෙස මම දකිමි. ඒ මම දකින හැටිය, මට හිතෙන හැටිය.

Friday, January 11, 2013

පියෙකුගේ සෙනෙහස..........!

පියෙකුගේ සෙනෙහස..........!

තාත්තා කෙනෙක්ගේ ආදරය කියන්නේ මහා පුදුමාකාර හැගීමක්.......අම්මා කෙනෙක් වගේ ලයාන්විතව ඒ හැගීම එලියට දාගන්න බැරිව ලතැවෙද්දී තව කෙනෙක් ඒ දෝරේ ගලන හැගීම් යටපත් කරගෙන කලු ගලක් වගේ නිසලව ඉන්නවා.....මගේ තාත්තත් ඒ වගේ ........වෙඩරු වගේ උණුවෙන හදවත අපිට පෙන්නුවේ ක්ලු ගලක් වගේ (සමහරවිට ඒ අපිට පෙනුන හැටි වෙන්න ඇති....) මම පුංචි දවස් වල කරපු පොඩි පොඩි වැරදි වලට ඇතිවෙන්න කෝ‍ටු පාර කාල තියෙනව.....එහෙම තාත්තගෙන් ගුටි කාලා ‍රැට බත් කන්නෙත් නැතුව නිදාගත්තු ගොඩක් දවස් වල ‍රැට තාත්තා ඇවිත් ඇස් දෙකේ කදුලු පුරෝගෙන ඉදිමිලා තියෙන තැලුම් පාරවල් අත ගාන හැටි මට අද වගේ මතකයි.....කොච්චර තත්තා අපිට ආදරේ උනත් ඒ ආදරේ අපිට පෙන්නුවේ නැහැ කවදාවත්ම........ඒ වුනත් තාත්තා අපි වෙනුවෙන් කරපු කැපවීම් මතක් වෙන හැම මොහොතකම අදත් මගේ දැස් කදුලෙන් බොද වෙනවා......සැරයක් මම වයස අවුරුදු එකේදී විතර බැක්ටීරියා ආසාදනයක් නිසා මාව රෝහල් ගත කරලාතියෙනවා .....මට දිගින් දිගටම බඩ එලිය යනවලු......අන්තිමේ මාව  තියන්න රෝහලේ ඇදට දාන්න ගෙනාපු රෙදි ඉවර වෙලා....ඒ වෙලවෙ මගේ තාත්තා ඇදගෙන හිටපු සරම ගලවලා මාව තියන්න අම්මට දීල රෑ එලිවෙන තුරුම රෝහලේ වැසිකිලියට වෙලා ඉදලා තියෙනවා Underwear එක පිටින්........ඒ වගේම තව සැරයක් මගේ මල්ලි ගෙදර ලිදට වැ‍ටුනා ....ඒක අඩි 25 ක විතර එකක් ඒ වෙලාවේ ඔක්කොම කට්ටිය වට වෙලා බල බලා ඉන්දෙද්දී  තාත්තා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා ලිදට පැන්නා මල්ලිව බේර ගන්න.....ඉතින් මේ උදාහරන කීපයක් විතරයි.....මේ වගේ උත්තම ගණයේ කැපකිරීම් කරන්න පුලුවන් තාත්තා කෙනෙකුට ඇරෙන්න වෙන කාටද?

මගේ තාත්තාව සිහියට නැගෙන හැම මොහොතකම මගේ දෙසවන දෝංකාර දෙන සින්දුවක් තියෙනවා කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ඒක තමයි....
 

මට හිතෙන්නේම ඒ ගීය ලියලා තියෙන්නේ මගේ තාත්තාටමයි කියලා.......(ඒක හැම දරුවෙකුටම දැනෙන එකක්ද කියලා නම් මම දන්නේ නැහැ...) තාත්තා ගැන තව ලියන්නට අප්‍රමාණ දේවල් තිබුනත් පිය ගුණ කියා නිම කල නොහැකි නිසා එවන් අසාර්ථක උත්සාහයක නියැලීමට මම නොකැමැත්තෙමි. ඉතින් අනිද්දා දිනට එනම් 2013.01.13 දිනට යෙදෙන මගේ තාත්තගේ 54 වන උපන් දිනය වාසනාවන්ත පිංබර එකක් වේවා........! සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජීවත් වේවා.........!
 
(ඡායාරූපය උපුටාගත්තේ WWW.ananmanan.Com වෙබ් අඩවියෙනි.)

Friday, January 4, 2013

ඔබගේ අදහස් හා යෝජනා මගේ ගමන් මග තීරනය කරනු ඇත...... තීරණය ඔබ අතේ......!

දවසකට අඩුම තරමේ දෙසැරයක් වත් ඔබ පානය කරන තේ කෝප්පය ගැන ඔබ කොපමන දැණුවත්ද?

එහි රසායනික සංයුතිය හා හා ඒ එක් එක් රසායනික සංඝටක ඔබේ සෞඛ්‍යයට බලපාන අයුරු ඔබ දන්නවාද?

ඔබ නොදන්නා තේ පිලිබද රසවත් මෙන්ම වැදගත් ලිපි පෙලක් ඉදිරියේදී සම්පාදනය කරන්නට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ පිළිබද ඔබගේ අදහස් යෝජනා මා වෙත යොමු කරන්න. 


තවද

පරිඝනක විද්‍යව තුල සාකච්චා වන ප්‍රබලම මාතෘකාවක් තමයි මෘදුකාංග ඉංජිනේරු ශිල්පය (Software Engineering).  Languages (Java, C#......)   ගැන සින්හලෙන් ලියවුනු බ්ලොග් තිබුනත් software engineering  වල මූලිකාංග සහ Process Design පැත්ත ගැන ගැඹුරින් සාකච්චා වන බ්ලොග් අඩවියක් මට සොයාගන්න බැරි වුනා. ( එහෙම බ්ලොග් එකක් ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න......පොඩි කොමෙන්ට් එකක් දාන්න...) ඒ නිසා මම කල්පනා කලා මේ සම්බන්ධවත් ලිපි මාලාවක් ලියල  පල කරන්න. මේක ගොඩක් BIT, BCS..... වගේ Exam කරන අයට වැදගත් වෙන විදියට ලියන්න හිතාගෙන ඉන්නවා...... ඉතින් ඒ ගැනත් ඔයාලගේ අදහස් මට කියලා කොමෙන්ට් එකක් දාන්න........

ඔබගේ අදහස් හා යෝජනා මගේ ගමන් මග තීරනය කරනු ඇත...... තීරණය ඔබ අතේ......!

තවත් පෝස්ට් එකකින් නැවත හමු වෙමු........!

මානව සම්බන්ධතා සහ ගණුදෙනු

මේ පෝස්ට් එක කොහොම පටන් අරන් කොහොම ලියන්නද කියලා මටම හිතාගන්න බැහැ. මට හිතෙන විදියට  ලෝකේ තියෙන හැම සම්බන්ධතාවයක්ම ගනුදෙනුවක්. හෑ.......මේක මහ අලුගුත්තේරු කුප්ප කතාවක් විදියට කෙනෙකුට හිතෙන්න පුලුවන්. ඒත් ටිකක් විමර්ශණශීලීව හිතල බැලුවොත් මගේ ප්‍රකාශයේ වරදක් නැති බව ඔයාලට තේරේවි. අපි උදාහරණයක් විදියට ලෝකේ තියෙන සුලබම සම්බන්ධතාවක් වන කොල්ලෙක් කෙල්ලෙක් අතරේ එහෙම නැතිනම් අඹු සැමි යුවලක් අතරේ තියෙන සම්බන්ධතාවය සලකා බලමු. (අනේ ඉතින් කොච්චර ඕවා සුලබ උනත් මේ කේඩී නම් තාම තනිකඩයා........පව් නේ.....!)

තමන්ගේ Girl Friend ට එහෙම නැත්නම් Boy Friend ට එක දවසක් කතා කරන්න හරි SMS එකක් කොටන්න හරි බැරි උනාම බුම්ගෙන ඉන්නේ එහම නැත්නම් Hint පාස් කරන්නේ ඇයි? ඇය හෝ ඔහු ඔබට ආදරය කරනවා වගේම ඔබෙන් ආදරය වචනෙකින් හරි බලාපොරොත්තු වෙන නිසා. ගණුදෙනුවක් කියලා කියන එක සරලව නිර්වචනය කලොත් එය යමක් ලබා දී (මුදල් හෝ භාන්ඩයක්) තමාට වටිනා හෝ අවශ්‍ය වන යමක් ලබා ගැනීම ලෙස අර්ථ නිරූපනය කල හැකියි. ඉතින් ඔබ හිතා බලන්න මේ මානව සම්බන්ධතා කියල කියන ඒවා සහ ගණුදෙනු අතරේ මොන තරම් සම්බධතාවයක් තියෙනවද කියලා.

හරි අපි තව උදාහරනයක් අරගෙන බලමු. අපේ රත්තරං දෙමාපියෝ පුංචි කාලේ ඉදලා අතක් පයක් නොකඩා අපිව හදලා ලොකු මහත් කරලා, හොදට උගන්නලා සමාජයට වැදගත් මිනිස්සු කරපු එකට වන්දි ගෙවන්න මුලු ජීවිත කාලෙම දෙමාපිය උපස්ථානය වෙනුවෙන් වැය කලත් අපිට බැහැ. එත් ඒ දෙමාපියන්ගේ හිතෙත් පුංචි හරි බලාපොරොත්තුවක් තියෙනවා ඒගොල්ලෝ වයසට ගිය දවසක දරුවෝ ඒ ගොල්ලන්ව ‍රැක බලා ගනීවි කියලා. ඒ හැගීම සමහර විට පිටට නොපෙනෙන්න පුලුවන්..... නමුත් පෘතක්ජන මිනිස්සු විදියට මේ හැගීම් හැම මනුස්සයෙක් ගාවම අඩු වැඩි වශයෙන් තියෙනවා. ඒ රත්තරං දෙමාපියන්ගේ පුංචිම පුංචි බලාපොරොත්තුව හැකි උපරිමයෙන් ඉ‍ටු කිරීම දරුවන් විදියට අපි හැමෝගෙම වගකීමක් වගේම යුතුකමක්. නමුත් මෙතැන තියෙන්නෙත් ගණුදෙනුවක් බව විමර්ශණශීලී මනසකින් බලන ඕනම කෙනෙකුට තේරේවී.

මේ විදියට මේ සංකල්පය ගුරු-ගෝල, ගිහි-පැවිදි....... වගේ ඕනෑම මානව සම්බන්ධතාවයකට අදාල කරලා බලන්න. එතකොට ඔබට තේරේවී මේ පෘතක්ජන ලෝකයම පිරිලා තියෙන්නේ ගණුදෙනු වලින් විතරයි කියලා. එතකොට ඔබට ප්‍රශ්නයක් නැගේවී ගණුදෙනු වලින් තොර සම්බන්ධතා ලෝකයේ ඇත්තෙම නැතිද කියලා.......මම එකට මෙහෙම උත්තරයක් දෙන්නම් ඒ වගෙ සම්බන්ධතා තියෙනවා.....හැබැයි දැන්ම කියන්නේ නැහැ. දන්න අය කොමෙන්ට් කරමුකෝ බලන්න.......

මේක මගේ පලවෙනි පොස්ට් එක......ඉතින් ඔයාලගේ යෝජනා චෝදනා, ගල්, මල්, සියල්ලක්ම සුහද සිතින් බාරගන්න මම සූදානම්.....මම ඉස්සරහට ලියන්න හිතාගෙන ඉන්න ලිපි වලට ඔයාලගේ අදහස් අතිශයින්ම වැදගත් ඒක නිසා මේ පැත්තේ ආවොත් කොමෙන්ට් එකක් කොටලම යන්න.....

එහෙනම් හැමෝටම මානසික නිදහස උපරිම වෙන සුභ දිනයක් වේවා........!

සමාරම්භය.......!

අවුරුදු ගානක් තිස්සේ ගොඩදෙනෙක් ලියන එක එක ආකාරයේ බොලොක්ක දැකලා අලුත් අවුරුද්දේ මටත් ඉතින් දොලදුකක් පහල උනා මගේම කියල බ්ලොගයක් පටන් ගන්න. ඕං ආයිබොවං.......ඒක තමයි මේ කේඩී ගේ සටහන.............!

මේකෙ ඉතින් මට හිතෙන ඔයාලටත් වැදගත් වෙයි කියලා හිතෙන හැම දෙයක්ම  ලියන්න බලාපොරොත්තු වෙනවා.....නිවාඩු පාඩු වෙලාවක මේ පැත්තෙ අවිත් යන්න එන්න.......!

හැමෝටම ජය වේවා....ආ......කියන්න අමතක වුනානේ ....2013 සියලු පැතුම් සපිරෙන ශ්‍රී සුභ නව වසරක් වේවා......!
(මේ පිංතූරය උපුටා ගත්තේ www.transitionaldata.com අඩවියෙන්)