Tuesday, August 13, 2013

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවියෙක් වන් මිනිසෙකු දුටිමි......!

ඉතින් යාලුවනේ, ඔන්න මාස ගණනාවකට පස්සෙ ආයෙමත් බ්ලොග් එක මතක් වුනා. පහුගිය ටිකේ තිබුන Exams සහ ‍රැකියාවේ කාර්යබහුල කම නිසාම මාස ගණනාවකින් බ්ලොග් එක පැත්තෙ එන්න බැරි වුනා. දැන් ආයෙමත් වැඩ ටිකක් අඩු නිසා ලියන්න පටන් ගන්න හිතුණා. මේ පාර නම් කොහොමටත් දිගටම ලියනවා, මාසයකට පෝස්‍ටුවක් දෙකක් වත් වෙන්න. ඇත්තටම මේ සැරේ මම ලියන්නෙ මිනිස් ජීවිත පවා තුට්‍ටුවකට මායිම් නොකරන මිනිසුන් වෙසෙන රටක මට හමුවුනු සුන්දර මනුස්සයෙක් ගැන.
 
දිනය 2013.08.09 වන සිකුරාදාය, වේලාව උදැසන 8.00 පමන ඇත. ස්ථානය සුන්දර නුවර එලිය පුරවරයේ බ්ලැක්පූල් සිට වැලිමඩ පාර දක්වා දිවෙන මාගස්තොට මාර්ගයයි. හාත්පස මීදුම ගලා තිබූ ඒ සුන්දර උදෑසන සිහින් වැහි පොදක්ද වැටෙමින් තිබිනි. මා මගේ මිතුරෙකුද සමග ඔහුට අයත් මෝටර් රථයෙන්  මිතුරියකගේ විවාහ මංගලෝත්සවයක් සදහා සහභාගී වීමට නුවර එලිය බලා ගමන් කරමින් සිටියෙමි.
 
අප ගමන් මගේ  ඉදිරියෙන් අප දෙසට පැමිණි කුඩා ලොරි රථයක් සෙමින් වේගය අඩු කර පසෙකට කර නවත්වනවා මම දුටිමි. ඉන් පසු එයින් බැස ආ තරුණයෙකු පුලුන් ගුලි දෙකක් මෙන් මහපාරේ මැද ඔබ මොබ ඇවිදිමින් සිටි කුඩා බලු පැටවුන් දෙදෙනෙකු පාරෙන් ඉවත් කිරීමට වෙහෙසෙන අයුරු දුටිමි. මේ වන විට මා මිතුරාද ඔහුට සහයක් ලෙස මෝටර් රථය පසෙකට කර නවතා ඔහුට ඉඩ දී මේ සිදුවීම නිරීක්ෂණය කරන බව මා දුටිමි. කෙතරම් පාරෙන් ඉවත් කර තැබූවත් එම පැටවුන් දෙදෙනා නැවත නැවතත් පාරටම ඇදී ආ නිසා මෙතෙක් වේලාවක් උදෑසන සීතලට නිරාවරනය වෙමින් වැස්සට තෙමෙමින් මේ සත් කාර්යයේ යෙදුනු නාදුනන තරුණයා කුඩා පැටවුන් දෙදෙනා ඔසවා ගෙන ගොස් ප්‍රධාන පාරට ලගා වීම අපහසු වන තරමේ දුරකින් බලු පැටවුන් දෙදෙනා තබා සිය රථයට ගොඩවී පිටත්ව ගියේය.
 
මෙය කියවන ඔබ මෙවන් සිදුවීම් ඕනෑවටත් වඩා දැක තිබෙන්නට හැක. ඔහු සිදු කල දේ කුඩා දෙයක් වන්නටද හැක. නමුත් මිනිස් වෙස් ගත් මග මරුවන් හිත් පිත් නැති ලෙසින් මිනිස් ජීවිත බිලිගන්නා ලොවක බලු පැටවකුගේ වුව ජීවිතයක වටිනාකම දන්නා ඔහු සැබෑ මනුෂ්‍යයකු ලෙස මම දුටිමි. මාස 5-6 බිලිදියන් පවා දූෂනය කරන තිරිසන් සමාජයක තිරිසනකුට පවා දයාව සෙනෙහස දැක්වූ ඔහු ගෞතම බුදුරජාණන් වහන්සේ දේශණා කල මෛත්‍රීය ප්‍රායෝගිකව ප්‍රගුණ කල උත්තම පුරුෂයෙකු ලෙස මම දකිමි. ඒ මම දකින හැටිය, මට හිතෙන හැටිය.